TOP NEWS
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා මහා පරිමාණ කප්පම් ජාවාරමක් – SLCERT අනතුරු අඟවයි.
2026-08-10 07:45:00Facebook, Messenger, Instagram සහ WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් සිදුකරන මහා පරිමාණ සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබෙනවා. අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම ජාවාරම ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන බවට සැක පළ වී ඇති අතර, ජාවාරම්කරුවන් මුලින්ම ඉලක්කගත පුද්ගලයන්ගේ ඥාතීන් සහ හිතවතුන් හඳුනාගෙන ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට සම්බන්ධ වන බව සඳහන්. පසුව සුරූපී තරුණියකගේ ඡායාරූපයක් යොදාගත් ව්‍යාජ Instagram ගිණුමක් හරහා ඉලක්කගත පුද්ගලයා වෙත සම්බන්ධ වී, කාලයක් සංවාද කිරීමෙන් අනතුරුව පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ ලබාගැනීමට පෙළඹවීම මෙම ජාවාරමේ ප්‍රධාන ක්‍රමවේදයක් බව SLCERT පවසනවා. එලෙස ලබාගන්නා සංවේදී ඡායාරූප සහ වීඩියෝ පවුලේ සාමාජිකයන්, ඥාතීන් හෝ හිතවතුන් වෙත යවන බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලා සිටීමෙන් කප්පම් ගැනීම සිදුකරන බව අනාවරණය වී තිබෙනවා. එබැවින් නොහඳුනන සමාජ මාධ්‍ය ගිණුම් හෝ දුරකථන අංකවලින් ලැබෙන පණිවිඩ, මිතුරු ඇරයුම් සහ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස SLCERT ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම නොහඳුනන පුද්ගලයන් සමඟ පෞද්ගලික ඡායාරූප, වීඩියෝ හෝ සංවේදී තොරතුරු හුවමාරු නොකරන ලෙසද ජනතාවට අවධාරණය කර තිබෙනවා
40%ක නව තීරු බද්දෙන් ඔස්ට්‍රේලියානු සිලිකන් නිෂ්පාදකයා ඇමරිකානු වෙළෙඳපොළෙන් ඉවත් වෙයි.
2026-08-10 04:33:00ඔස්ට්‍රේලියාවේ එකම සිලිකන් නිෂ්පාදකයා වන Simcoa සමාගම, ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔස්ට්‍රේලියානු සිලිකන් ආනයනය සඳහා පනවා ඇති අතිරේක තීරු බද්ද හේතුවෙන් ලබන අගෝස්තු 14 වැනිදා සිට ඇමරිකානු වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඇමරිකානු වෙළෙඳ හා කර්මාන්ත බලධාරීන්ගේ තීරණය අනුව Simcoa සමාගමට අදාළ සිලිකන් අපනයන සඳහා සියයට 40කට ආසන්න අතිරේක බද්දක් පැනවීමට නියමිතයි. එම තීරණයත් සමඟ ඇමරිකානු වෙළෙඳපොළ තුළ ව්‍යාපාර කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම ආර්ථික වශයෙන් අසීරු බව සමාගම පවසනවා. ඇමරිකානු වෙළෙඳ කොමිසමේ තීරණයකට අනුව ඔස්ට්‍රේලියාව සහ නෝර්වේ සිට ආනයනය කරන සිලිකන් ලෝහ සම්බන්ධයෙන් දේශීය කර්මාන්තයට හානි සිදුවන බවට තීරණය කර ඇති අතර, Simcoa සඳහා සියයට 6.16ක dumping margin එකක් සහ සියයට 32.57ක countervailing duty අනුපාතයක් තීරණය කර තිබෙනවා. Simcoa සමාගමේ උප සභාපති ඩේවිඩ් මයිල්ස් සඳහන් කර ඇත්තේ සමාගමට ඇමරිකානු වෙළෙඳපොළෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ඒ වෙනුවට අග්නිදිග ආසියාව, ඉන්දියාව සහ යුරෝපය ඇතුළු වෙනත් වෙළෙඳපොළ වෙත අවධානය යොමු කිරීමට සමාගම සැලසුම් කර තිබෙනවා. මේ අතර, ඔස්ට්‍රේලියානු සම්පත් අමාත්‍ය මැඩලීන් කිං පවසන්නේ මෙම තීරු බද්ද සම්බන්ධයෙන් ඇමරිකානු රජය සමඟ සාකච්ඡා කරන අතර, එය ඔස්ට්‍රේලියා-ඇමරිකානු තීරණාත්මක ඛනිජ සම්බන්ධතා ගිවිසුමට බලපෑමක් නොකරන බවයි.
Perth රියදුරන්ට සුබ ආරංචියක්
2026-08-09 21:03:00බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle Traffic Bridge නව පාලම නියමිත කාලයට පෙර රථවාහන සඳහා විවෘත කිරීමට සූදානම් කර තිබෙනවා. පාලම මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට හැකි වනු ඇතැයි බලධාරීන් පවසනවා. පාලම වසා දැමීමෙන් Perth සහ Fremantle අතර ගමනාගමනයට බලපෑම් එල්ල වී තිබුණා. නව පාලම ඉදිකිරීමේ කටයුතු මුලින් සැලසුම් කළ වේගයට වඩා ඉදිරියෙන් සිදුවීම නිසා විවෘත කිරීමේ කාලය කෙටි වී තිබෙනවා. පැරණි පාලම වසර 86ක් පමණ පැරණි අතර, නව පාලම මගින් එම ස්ථානයේ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනවා. පදිකයන් සඳහාද වැඩි ඉඩකඩක් නව පාලමේ ඇතුළත්. මෙම ව්‍යාපෘතිය සඳහා වියදම මේ වන විට ඩොලර් මිලියන 596ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාලම වසා තිබීම නිසා North Fremantle ඇතුළු ප්‍රදේශවල ව්‍යාපාර සහ රියදුරන්ට දැඩි බලපෑම් එල්ල වුණා. නව පාලම විවෘත කරන නිශ්චිත දිනය ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත අතර, එය නත්තලට පෙර සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා.